Followers

Friday, May 22, 2020

දියැඳි සිතුවම්... 05

~05~ ගරාජ් විමලේ

මේ විමල් අය්යලගෙ ගෙදරද..? මිදුලට ගොඩවැදුණු අමුත්ත ඇහුව.ඔව් මහත්තය විමලෙ අපෙ මල්ලි. අමුත්ත දිහා සැකෙන් වගේ බලන් ගැහැනිය උත්තරය දුන්න.ඒයි.. මෙහෙ එනවකෝ කියූ ඈ,පොඩ්ඩක් ඉන්න මහත්තයො කියමින් ගෙට වැදුන.මොකෝ බං මේ බෙරිහං දෙන්නෙ කියන් මැදිවියේ කෙට්ටු මනුස්සයෙක් එලියට ආව.මේ මහත්තය මල්ලි ගැන අහනව. ටිකක් බැලුවනං කියපු ඈ ආපහු අමුත්තට කතාකලා අනේ මහත්තයො අපෙ මල්ලි ගැන මුකුත් ආරංචියක්වත් ද..? .. උඹ පලයං ඇතුලට, අපෙ මල්ලි... හහ්.. කියපු මිනිහා එලියට ඇවිත් පිල උඩ වාඩි උනා.
ඔය පඩත්තරයත් එක්ක අපේ කිසි ආස්සරයක් නෑ මහත්තය.තමුංගෙ මවු ගෙ ඉල්ලව්වටවත් ආයෙ නැති පරය.ආ..මහත්තය වාඩි වෙන්න.. මහත්තය කවුද ,මට නිච්චියක් නෑ නෙ.. ආ මම අමිල.. විමල් අය්ය අදුනන කෙනෙක්, ඒ දවස්වල මම මෙහෙ සබන් ඒජන්සි එකේ රෙප් නෙ. තිස්මඩ තමයි අපෙ අන්තිම ඒරියා එක , ඉස්සර මෙහෙ නැවතුනාම විමල් අය්ය අපිත් එක්ක සෙට් වෙනව.. දන්නැද්ද ඉතිං, අමිල හිනාඋනා.. ඔව් ඔව් විමලයට පිනට බොන්න දෙනවනං ඉතිං තවදෙයක් නෑ.
මම ගිය අවුරුදු තුනේම ට්‍රාන්සර් ගිහින් බදුල්ලෙ හිටියෙ , දැන් ආයෙත් මෙහෙ, ඒකයි විමල් අයිය මතක් වෙලා බලන්න ආවෙ.
ඒක මිසක්ක මහත්තය,මම හිතුවෙ එක්කො මහත්තය පොලිසියෙන් ,උසාවියෙන් කියල.එහෙමත් නැත්නම් ඕක ඔය මහත්තයටත් මොනාහරි අලුගුත්තේරු වැඩක් කරල කියල.මේ ඔය අයිය කවුද එතකොට අමිල ඇහුව.. මම පියතිස්ස මහත්තයො ,ඔය විමලයගෙ ඇවැස්ස මස්සිනා,ඔය උන්නෙ විමලයගෙ අක්ක, මගෙ නෑන.මම ඕකි කසාද නොබැන්දනං ඕක, ඕකිවත් විකුනං කනව ,එහෙමත් එකා. පියතිස්ස කිව්ව. මම දන්නෙ නෑනෙ අයියෙ විමලෙ අය්යගෙ නොම්මරේ ඔච්චර සවුත්තුයි කියල අමිල කිව්ව. මහත්තය ගෙ ගම් පලාත් මෙහෙමද ..ඔය මහත්තය වැදගත් වගේ පේන නිසයි මම මේ කියන්නෙ, මොකුත් හිතන්නෙපා මහත්තයො,විමලය මට දෙපාරක් මස්සිනා වෙච්චි එකේ මම ඌගැන හොඳට දන්නව.ඌ ආශ්‍රයට හොදේකෙක් නෙව්.මෙහ කරපු දහපදුරා වැඩවල හැටියට ගමේ ඉන්නම බැරිඋන තැන තමයි පැනිදෙණියෙ රාජසේකර මහත්තයගෙ වත්තෙ ඩ්‍රැවිවර් වැඩ කරන් හිටියෙ.රාජසේකර..අමිල ආපහු ඇහුවෙ පුදුමෙන්.. ඇයි මහත්තය ,ඒ මහත්තය අදුනනවද..?? න්..නෑ..නෑ මට ඒ නම අහල පුරුදුයි ඒකයි..අමිල කිව්ව.. ඔව් ඔව් පරම්පරා සල්ලිකාරයො.. පස්සෙ පොඩ්ඩක් පිරිහුනත් තවම හොඳ සල්ලි.. මෙහෙත් වතුතිබුන. ඔයඅපෙ මාම, විමලෙගෙ අප්පච්චි ඉන්න කාලෙ උන්දැයි, විමලෙයි දෙන්නම ඔය වතු මුරට ගියා නෙ. ඒකනෙ ඔය ඇදුනුම් කමත්.. පියතිස්ස කිව්ව. මහත්තය මේ තේ ටිකක් බීල හිටියනං කියපු විමලෙගෙ අක්ක කතාවට එක්තු උනා.ඕකගෙ කල් ක්‍රියාව හොඳ නෑ ඒකයි. යලුවො ඌව නොමඟ යැව්වා.. මම පැනිදෙණියෙ මල්ලිගෙ ගරාජ් එකටත් ගියා. ඒ දවස්වලනං ටිකක් සරු පාට තමයි තිබ්බෙ.. පැනිදෙණියෙ කොහෙද අක්කෙ අමිල ඇහුව. රේල් ගේට්ටුව ලග. මම ගියෙත් අර ලොරිය එලවන සාන්ත මල්ලිගෙ අයිරුවකට. මේ මිනිහට කිව්වට වැඩක් නැතිනිසා මම තට්ට තනියෙන් ගියා හොයාන.මොනා උනත් මගෙ මල්ලිනෙ.. ඈ කදුළු පිහිදාගත්ත.යයි මගෙ බල්ලවත්, ඕක කැන්දන් ඇවිල්ල මේ ගෙදර ඉන්න අර කරඳඩූස්මහත් වෙන කොල්ලො දෙන්නටත් උගෙ හැබිචෝල් කං පුරුදු කරන්න.. පලයං ගිහින් වැඩක් බලාගනිං පියතිස්ස සැර දැම්ම.
ඈ ගෙතුලට යනකන් හිටපු පියතිස්ස අමිලට කිට්ටු උනා. ඕක ඔය කාගෙ හරි ගෑනියෙක් වහංකරං ගිහින් කොහෙට හරි වෙලා හැංගිල ඇති.මට කීප දෙනෙක්ම කිව්ව ඕක කොළඹ ඉන්නව දැක්ක කියල, සරුයි වගේලු.. ඔය සරුබරු කමනං හොදින් හම්බුනු දෙයක් වෙන්න නං බෑ මහත්තය.මම අපේ ගෑනිට ඕක කීවෙ නෑ.ඕකි හොයන්න යන්න ඕනෙ කියල මගෙ ඔලුව කන්න හදන නිසා.
හම්.. මොනා කරන්නද අයියෙ.. මම දන්නෙ නෑ ඔච්චර දෙයක්.මම යන්නම් ඒනම් පරක්කුත් උනා,අමිල කිව්ව. හා මහත්තයො ගිහින් එන්න.. ඕක හම්බ උනොත් කියන්න මේ දිහා නාවට කමක් නෑ කියල කියපු පියතිස්ස මිදුලට බැස්ස.
එහෙන්ං අපි ගියා කියමින් අමිල බයික් එක ගුරු පාරට දැම්මා.නුවර දිහාවට සෑහෙන දුරක් ආවට පස්සෙ පාරෙ පාලු හරියක අයිනට කරල බයික් එක නවත්තපු අමිල සෙල්ෆෝනය අරන් කෝල් එකක් ගත්තා..
සර්,ගුඩීව්නින් සර්..කමල් කතාකරනව..ඔව් සර් ඇඩ්‍රස් එක හරි, එහෙම මෑන් කෙනෙක් ඉඳල තියනව..

තුෂාර ආසිරි .

No comments:

Post a Comment