Followers

Tuesday, May 12, 2020

කල්පාවසානය කුමකටද...

ඉතිහාසය පුරාවටම සහ ඉදිරියටද සියලුම මානව ශිෂ්ටාචාරයන්හි සහ ආගම් දර්ශනයන් හිද කතිකාවට බදුන්වන අපූර්ව සංකල්පයක් ලෙස ලෝක විනාශය හදුනාගත හැක. මානව පරිනාමයයේ තලයෙන් තලයට ඉහල නැගීමේ උත්ප්‍රේරකය, නොඑසේනම් මානව කුසලතා වර්ධනය කරගැනීම සහ එය පරපුරෙන් පරපුරට ඉදිරියට පවත්වාගෙන යාමේ මානසික ප්‍රවේශයෙහි අත්වැල වන්නෙ ස්වකීය වර්තමාන පැවැත්ම සහ අනාගතයක් පැවතිය හැකියැයි යන උපකල්පනය මත වන අතර පැවැත්ම යන මූලික සංකල්පය මානව පරිනාමයට ඍජුව හේතුපාදකව ඇති බවට අපට බැලූ බැල්මට හැඟුනද, විනාශය , අවසානය යන සංකල්පයද එයට සමාන්තරව පරිනාමික ගමන් මගට උපකාරීව ඇති බවද අපට පරික්ශාකාරීව විමසා බැලීමේදී පෙනී යයි.
ලෝක විනාශය යන සංකල්පය පූර්වජ මානවයාගේ සිට අද දක්වාද අද සිට අනාගතය දක්වාද පරිනාමික ප්‍රගමනයට හේතුවූයේ කෙසේද යන්න සලකා බැලීමට පෙර අප ලෝක විනාශය පිළිබඳ කතාකර ඇත්තේ කුමක් ද යන්න බලමු,
මූලික වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා කරන්නෙ ආගම් සහ දර්ශන තුල වන අතර, ඒබ්‍රහමික ආගම් වලට පෙර සිටම නයිල් සහ මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයන්හි පැවති ඇදහීම් තුලද ඉන්කා ශිෂ්ටාචායෙහි ඇදහීම්වලද ලෝක විනාශය ගැන සඳහන්ව ඇත. ඒබ්‍රහමික ආගම් වල සහ ඉන්දු බහුදේවවාදී සංකල්ප වලදී ලෝක විනාශය පිළිබඳ පෘතුලව සාකච්ඡා වන අතර පසුකාලීනව ඉන්දියාව තුල මහාවීර , ගෞතම යන දාර්ශනිකයන් විසින් ගොඩනගන ලද දර්ශනයන් තුලද ලෝක විනාශය පිළිබඳ සඳහන් කිරීමක් කරයි. මෙම මූලික ධාරාවේ ආගම් සහ දර්ශනයන් හැරුනු කොට සම හා පසුකාලීනව ඇතිවූ බොහෝ ආගම් සහ දර්ශන වල මෙම කරුනට කුමන හෝ ලෙස දායකයත්වයක් ලබාදී ඇත.
ආගම සහ දර්ශනය යනු මිනිසා ඔහුගේ සහජ ඉව නැමති ප්‍රාතමික සැකසුමෙන් ක්‍රමිකව සැලසුම් සගගත සිතුවිලි රටාවකට සහ එම සිතුවිලි රටාව මත ගොඩනගන ජීවිතයට අනුවර්තනය වීමේදී ඇතිවූ මානසික අසමතුලිතතාව තුලනය කරනු වස් නිර්මාණය කරගනු ලැබුවක් වන අතර , පැවැත්ම යන සංකල්පය තිරසාර ලෙස පැවතීමට නම් එහි ප්‍රතිවිරුද්ධ සංකල්පය වන විනාශය යන්න එතුල ගැබ්වී තිබිය යුතුම වූ අතර එය එසේම විය.
ලෝක විනාශය යන සංකල්පය මිනිසාගේ ප්‍රගමනයට හේතුවූයේ කෙසේද යන අප ඉහත අසා ඇති ප්‍රශ්නයට සරල පිළිතුර එයම වේ. එනම් පැවැත්මේ සංකල්පය සමතුලිත් කිරීමයි. සමතුලිත නොවූ සංකල්පයක් කිසිවිටක දිගුකාලීනව පවත්වාගෙනයා නොහැකිවන අතර ඒමත පදනම්ව මානවයා වැනි සංකීර්ණ මානසික ස්වභාවයක් සහිත ජීවියෙකු සමූහයක් වශයෙන් නඩත්තු කිරීමද කල නොහැකි වේ.
ලෝක විනාශය යන්න අනික් අතට මානව සිතුවිලිවල ප්‍රාතමික ස්වභාවයක් වන විනාශකිරීමට , වෙනස් කිරීමට ඇති කැමැත්ත සංතර්පනය කිරීමද කරයි.එසේම සියල්ල අවසන් වන දිනක් ඇතිබව යන සංකල්පය මනසේ හැකියාවන් ප්‍රසාරනය කිරීමේ උත්තේජකයක් ලෙසද, එම හැකියාවන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන මානසික ඝට්ටනයන් සමනය කිරීමේ තනූකකාරකයක් ලෙසද එකවිට ක්‍රියා කරයි.සාමාජයීය වශයෙන් මෙම සංකල්පය පූර්න වශයෙන් නැතත් , මූලික මානව හැසිරීම් රටා යම් රාමුවක් තුල සංගත කිරීමට යම් පමනක දායකයත්වයක් සපයයි.අප කුමන සමාජයක ජීවත් වුවද මෙම සංකල්පය කුමන හෝ අයුරකින් අපගේ මනසට අප දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්දුවී ඇතිඅතර අනිච්චානුගතව හෝ අප මෙම සංකල්ප මත් සෑදෙන සිතුවිලි රටා මත අපේ ජීවිතය ගෙවා දමයි.
ලෝක විනාශය සංකල්පයේ නූතන කියවීම කුමක්දැයිද අප විමසමු,
ලෝක විනාශයකට පසු ඒ පිළිබඳ කීමට කිසිවකු ශේෂ නොවන නිසා මානව ඉතිහාසය පුරාවටම මේ පිළිබඳ පැවතුනේ කාල්පනික විග්‍රහයන් පමනකි, එහෙත් අද එයින් ඉදිරියට ගොස් ලෝක විනාශය , මානව සහ සත්ත්ව සංහතියේ විනාශය ගැන තාර්කික විග්‍රහ සැපයීමට අපට හැක. ග්‍රහක ගට්ටන, මවු තාරකාවේ ආයුකාලය අවසන්වීම වැනි පෘථිවියට බැහැරින් පැමිනෙන ස්වාභාවික හේතුන් ද පෘථිවි අභ්‍යන්තරව ස්වාභාවිකව සහ මානව ක්‍රියාකාරක්ම් නිසාවෙන් ඇතිවන කාලගුණ විපර්යාස‍යන්ද,පරමාණු , ජීව සහ වෙනත් රසායනික ක්‍රියාකාරකම් ලෝකයේ විනාශය ගැන වනතාර්කික උදාහරනයන් වන අතර , අවාසනාවට මින් බහුතරයක් මානවය විසින්ම සිදුකරන සහ ඇතිකරගන්නා ලද ඒවාය.ඇත්තවශයෙන්ම බලන කල අපගේ පූර්වජයන් හට වඩා ලෝක විනාශය ගැන අවබෝධයක් සහ එයට සත්‍ය වශයෙන්ම නිරාවරන වී ඇත්තේ වර්තමානිකයන්වන අප සහ අපගේ සමීපතම අනාගත උරුමකරුවන්‍ ය. එහෙත් මානව ඉතිහාසය පුරාවටම ලෝක විනාශය ගැන කල කතිකාවතට අප විසින් ප්‍රමානවත් සහභාගිත්වයක් දක්වන්නේද යන්න ගැටලුවකි. ඒ පිළිබඳ අපගේ දැක්ම කුමක්ද යන්න අනාගතයයට සම්ප්‍රේෂණය කරන්නෙ කෙසේද යන්න පිළිබඳ අපහට නිසිදැක්මක් නොමැති බව මාගේ හැඟීමයි. පුරාණ ආගම් සහ දර්ශන වලින් මිනිසා උත්සාහ කල ලෝක විනාශ සංකල්පයෙන් මිනිස් චින්තනය තුලනය කිරීමේ වෑයමේ ඊලග තලයට අප පාතැබිය යුතුවන්නේ නොනිමි මානව පරිනාමය්‍ එම අදියර අප තරණය කල යුතුම හෙයින් වන අතර, එය කල හැක්කේ මෙම කාරනා ගැන පුලුල් කතිකාවක් මානව සමාජය තුල ඇතිකර එයින් වන බුද්ධ් කලම්බනයෙන් මිනිස් සත්ත්වයාට හිමිකරගත හැකි කුසලතා සහ එය පවත්වාගෙන යාමේ හැකියාව අත්පත්කර ගැනීමෙනි.


තුෂාර ආසිරි

No comments:

Post a Comment