Followers

Monday, May 11, 2020

වැල වගේද වරකා...


කොස් ගස තරම් ලාංකික ආහාර රටාවට සමීප තවත් ගසක් නැතිතරම් ය.. වී ගොවිතැන් අසානාසිවී ගිය කාලවලද අපි සැනසුමක් ලද්දේ කොස් ගෙඩියක් කා හෝ ජීවත් විය හැකියැයි සිතාය..පනාමල ලෙස හැඳින්වෙන කොස් මලේ සිට වැල හෝ වරකා ගෙඩිය දක්වා කොස් මූලික අහරක්, ව්‍යාන්ජනයක් සහ පළතුරක් ලෙස අපගේ අහරට එකතු වුයේ අනාදිමත් කාලයක සිටය.. 
කොස්මාමා ලෙස සුපතල ආතර් වී දියෙස් මැතිතුමා කොස් වැවීම සහ කොස් අනුභවය රැල්ලක් ලංකාව තුල ඇතිකිරීම වැනි කොස් හා බැඳුණු අපූර්ව සමාජ සංස්කෘතික කාරනා ,ආර්ථික  සහ වෙනත් හෞතික කාරනා කාරන කොතෙකුත් ඇතත් කොස් ගැන ප්‍රකට විදේශීය ඉවුම් පිහුම් වෙබඩවියක වූ අපූරු වීඩියෝව නැරඹීමෙන් මට සිහිපත් වූ කොස් කෑ විත්ති කීපයක් ලියා තැබීමට සිත්වුනි..
කොස් ගෙඩියට පෙර අප කන්නෙ කොස් කොලයි.. ළපටි කොස් කොල දලු පිටියෙන් තවරා , වියලි මිරිස් කරල් කීපයක් සමග තෙලේ බැදගැනීමෙන් අද අප පපඩම් වලින් ලබන කටගැස්ම එදා ලබාගතිමු... ඉන්පසු එන්නේ පොලොස්ය.. කොස් ගෙඩියේ ලාබාල කාලය අප පොලොස් ලෙස හදුන්වමු.. හොද පොලොසක් තෝරා ගැනීම පලපුරුද්දෙන්ම කල යුතු දෙයකි.. අපේ අත්තම්මලා මෙය මැනවින් දැන උන්නාය.. හැම ගසේම පොලොස් ඉවීමට නොගත් අතර හොඳ පොලොස් හැදෙන ගස් මොනවාදැයි ඔවුන් දැන උන්නාය.. මෙම ගස් වර්ග කිරීම පොලොස් වලට පමනක් නොව කොස් හා වැල වරකා සදහා ද විය.. ඒ දවස් වල අපිට පොලොස් හෝ කොස් ගෙඩියක් කඩාගෙන එන්නයැයි කියන්නේ ඒ අසවල් තැන වූ අසවල් කොස් ගහෙන්ය.. වැල සහ වරකා සදහා ද මේ නියමයන් මෙසේම විය.. පොලොසක් කැපීමද කලාවකි කකුලේ මහපටැගිල්ලට තදකොට රදවාගන්නා කැත්ත හෝ වක් පිහියටද අතටද පොල් තෙල් ටිකක් තවරා ගන්නෙ කොහොල්ලෑ කිරි නොගෑවෙන්නටය.ඉන්පසු සීරුවට වට්ටියකට කැබලි හෝ මැල්ලුම් ලෙස කපාගනී.කපාගත් කැබලි වල කහට නොපිපෙන්නට අත්තමලා විශේෂයෙන් වගබලා ගත්හ..ඉඳින් හොද පොලොස් ගෙඩියක් ලද විට පිලියෙල වන්නේ හොඳහැටි තෙල් ,අබ ,වේලූ මිරිස් යෙදූ පොලොස් මැල්ලුමකි.. නැත්නම් පදමට තුනපහ යොදා තෙල්බේරෙන්න පිසූ හොඳ රතුපැහැ පොලොස් ව්‍යාන්ජනයකි... කොහොම හැදුවත් පොලොස් රසය.. විශේෂයෙන්ම පොලොස් ඇඹුල දවසක් පරන වූ විට දිව්‍යලෝක රසය.. බත් සමග හෝ පෝරණු පාන් සමග පොලොස් ඇඹුල සහ මැල්ලුම කොපමන කෑවද ඇතිනොවන බවනම් නිසැකවම කිව හැක.
ඊලගට එන්නෙ කොස් ය , හොඳ කොස් බව ගහේදීම තිබියදී දැනගැනිමට අප දැන සිටි අතර , ඉහත පරිදි උයන කොස් වලට පතල ගසක් කොසක් නොවූ විට කොස් ගෙඩිය හොදදැයි අප සැක හැර දැනගත්තේ කොස් ගෙඩියෙහි කුඩා සිදුරක් හාරා ඉන් කොස් මදුලක් , ඇට කැබැල්ලක් ඉවතට ගෙන හපා රස බැලීමෙනි.. කොස් කැපීමත් පෙර සඳහන් වූ පොලොස් කැපීමේ අයිරුවටම වූ අතර,විශේශයක් වූයේ කොස් ගෙඩියේ ඇති වැඩි කොහොල්ලෑ එකතුකර ගුලියක් සාදා මුලුතැන්ගේ බිත්ති කොනක අලවා ඇති පෙරත් එලෙසම එකතුකල කොහොල්ලෑ ගුලියේ ඇලවීමයි..පෙරකල සෑම ගෙදරකම පාහේ මේ කොහොල්ලෑ ගුලි දක්නට ලැබුනු අතර , මෙහි ප්‍රයෝජනය වූයේ හිල්වූ හට්ටි , මුට්ටි, කල පිරියම් කර ගැනීමයි.. ඇලෙන සුලු කොහොල්ලෑ ගම් වර්ගයක් ලෙස බොහෝ ප්‍රයෝජනයවත් විය.. දැන් කොස් ඉවිල්ල දෙස බලමු.. කොස් ටික තැම්බීගෙන එද්දීම අපිට බඩගිනි සෑදේ , තැම්බෙන කොස් සුවද අප කොහේ හිටියත් කුස්සියට කැන්දාගෙන ඒ.. එවෙලේට අපට ලැබෙන්නේ තැම්බූ කොස් ය.. තැම්බූ කොස් වලට ගාගත් පොල් ටිකක් එක් කල ගත් විට සාස්...සූස් ගා රස්නිය පිටම ගිල දමා ගත් හැක
ඉන් පසු තැම්බුනු කොස්වලට පොල්කිරි යහමින් දමා කිරි කොස් මාලුව සකසා ගනී... හොදි ගතිය අඩුවී මදක් ඇලෙන සුලුව එනවිට එය ලිපෙන් බාගනී... පදම එයය.. කිරි කොස් බත් සමග, පාන් සමග අනුභව කල හැකි අතර නියම ක්‍රමය නම් සැරට සෑදූ බල හෝ කට්ටා කරවල හොද්දක් සමග කොස් පමනක් කෑමයි.. 
රෑ කෑමෙන් පසු ඉතිරිවන කිරි කොස් ටික එහෙමම හැලියේ ලිප උඩින් තියා තිබෙන අතර එය පසුවදා හීලටය...
අගුරු අස්කලත් රැය පුරාවටම රත්ව තිබුන ගොම මැටි ගෑ ලිපේ රස්නයට පාන්දර වන විට කිරිකොස් ඉතිරිය හොඳින් හිඳි තිබෙන අතර එය පොල් තෙලට අබ ටිකක්, සුදුළෑනු ටිකක් දමා යහමින් තෙම්පරාදු කර ගනී... හීලි බතට හෝ උදෑසන කැකුලු බතට එය හොඳ ටම ඇතිය.
කොස් ඇට ගැනද වෙනමම කතා කල යුතුමය , කොස් ඇට ලැබෙන ආකාර දෙකකි.. වැල වරකා කද්දී එහි ඇති ඇට අප විසිකරව්වේ නැත.. බොහෝවිට කලේ ඔය වැල වරකාවල ඇති ඇට එවෙලේම අඟුරේ පුලුස්සාගෙන කෑමය.. පුලුස්සද්දී සමහර කොස් ඇට "ටොස්" හඩින් පුපුරා යයි.. එය අපට මහත් විනෝදයක් විය.. කොස් ඇට ලැබෙන අනිත් ආකාරය නම් ගස් යටින් ඇහිද ගැනීමයි... කොස් ගසක් යටට යන ඔබට ඒ අවටින් කොස් ඇට ඕනෑතරම් ඇහිදගත හැක.කොස් ඇට කල් තබා ගැනීමට කල යුත්තේ වැලි සහිත වියලි පොලොවෙ වලලා ගැනීම වන අතර ඒ කාලයේ ගොම මැටිගෑ ගෙබිම සහිත් වී කුස්සි වල මුල්ලක කොස් ඇට වැලලා තිබුනි.. අපේ ගෙදර නම් කොස් ඇට කල් තබගන්නා ගබඩාව ලෙස තිබුනේ ඟගේ වැලි පිරවූ මහ හට්ටියකි..
මෙහි තැම්පත් කල කොස් ඇට පුලුස්සා කෑමට, කොස් ඇට අග්ගලා සෑදීමට සහ කොස් ඇට මාලුව සෑදීමට යොදාගන්නා ලදී.. වරකා කොස් ඇට වලින් යහමින් ගම්මිරිස් යොදා සාදන අග්ගලා ඉතා රසවත් වූ අතර..පොතුත් සමග උයන ලද කොස් ඇට මාලුවහි රස අද බොහොමයක් නොදන්නාබව නිසැකය.
පළතුරක් ලෙස වරකා හොඳ පැනි රසින්ද මදක් තද මදුලින්ද වනතර , හොඳ පැනිවරකා ගස් මොනවාදැයි අප ඒ දවස් වල හොදින් දැන සිටියෙමු.. වැල මදක් දියර ගතියෙන් යුක්ත් වූ අතර එයත් එක්තරා අපූරු රසයකින් වූවක් විය.. කෙසේ මුත් කොස් ගස නිසා අප ඒ වයසේදීම් වැල වලට වඩා වරකා කෑම ප්‍රිය උපදවන බවටත්.. එහෙත් වරකා කෑමේද යම් රසක් ඇති බවත් උගත්තෙමු..😉 ඔය කුමක් කෑවද ඒ සමග ලුණු කැටක් හා ගම්මිරිස් ඇටයක් කෑමට අප අමතක නොකලේ එයින් රසක් මෙන්ම වැල වරකා කෑමෙන් පසු ඇතිවිය හැකි බඩරැජාවට ඔසුවක් ද ලෙසිනි.
බතට, මාලුවට, පළතුරට කොයිකටත් සහනය වූ බත්ගස , කොස් රහමෙර පානයට කටගැස්මක් ලෙසින්ද ලබාදෙමින් ගසකින් මිනිසාට සපයන්නාවූ සියලුම ආකාරයේ ආහාර ලබාදෙන්නා ලෙස කිරුළ පැළදුවේය.. කොස් සිවිඩි සහ රේනු බැදුම මේ අපූරු කටගැස්මයි... රා ටිකක් සමග එදා මැනවින් මුසුවුන් මෙම කටගැස්ම අද තනි මෝල්ට් විස්කි ඇති මේසයක බැදපු කජු පීරිසියක් සමග සමතැන්ගෙන සිටියහැකි තරම් උසස් රසක් ගුනක් සහ පෙනුමක් ඇති අපේම ආඩම්බරකාර කටගැස්මක් බව මාගේ විශ්වාසයයි.කාලයත් සමග අපෙන් මදක් ඈතට ගිය කොස් ගස සමග වූ මේ අපුරැ අහර රටාව වැවත පනගන්වා ගැනීමට මේ සුදුසුම කාලය බව මාගේ හැඟීමයි..

තුෂාර ආසිරි

1 comment:

  1. සල්ලි හොයන්න ගිහින් බොරු බේගල් වලට රැවටුනාද, එහෙනම් එන්න අව්රුදු ගානක් එකදිගටම සල්ලිගෙවන මේ සයිට් එකට. ආපුගමන් නම් සල්ලි නිකන් දෙන්නෑ. ඒක කොයිකෙත් එහෙමයි. මේක දිගටම කරගෙන ගියොත් ටික ටික කරගෙන ගියහැකි. මම 2014 ඉදන් වැඩ. බොරු කාරයොන්ට අහුවෙන හින්දයි මේක දාන්නේ. මොකද මාත් ඉස්සර හොදට අහුවුණා, මෙන්න මගේ ඉමෝ නම්බරේ 0750990262 ඉමෝ විතරක් Chat කරන්න. හැමදේම මුල ඉදල කියල දෙනව. සල්ලිගත්ත proof පෙන්නනවා. මේ ලින්ක් එකෙන් ගිහින් Email දීල රෙජිස්ටර් වෙලා මාව Contact කරගන්න.පියවරෙන් පියවර හැමදේම මේකෙ තියනව. Link - https://americanblogreaders.blogspot.com/2020/05/online.html කරගන්න අමාරු නම් කියල දෙන්නම්. ජය වේවා !

    ReplyDelete