Followers

Saturday, May 16, 2020

සෝබනේට පුස්තකාලයක්

ඔව් ගෙදරක පුස්තකාලයක් හරි පුස්තකාල කාමරයක් හරි තියන එක පොත්පත් නොකියවන ගොඩක් දෙනෙක් දකින්නෙ ඒ ගෙදර අය සෝබනේට කරන දෙයක් විදියට,පොත්පත් කියවන ටික දෙනෙක් දකින්නෙ මටත් මෙහෙම තැනක් තිබුනනම් කොහොමද කියල.මේ කතාව ඔන්න ඔය දෙවෙනි විදියට හිතන අයටත්, නොකියවන අයට තමතමුන්ගෙ අදහස් ගැන ආයෙත් හිතල බලන්නත් උදවුවක් වෙයි කියල හිතනව.
ඇයි අපි පොත් කියවන්න ඕනෙ, ඊ බුක්ස්, ඊ වීඩියෝ , කින්ඩල් තියන මේ කාලෙත් කඩදාසි පොත් ගොඩගහන් කරදරවෙන්න ඕනෙද.. නෑ ....ඒත් පොතක් පෙරලනකොට ඇගිලිවලට දැනෙන හැඟීම, පොතේ කඩදාසි වලින් එන සුවඳ.. පොතක් කියවද්දි සිද්දවෙන සිරුරයි, මනසයි අතරෙ වෙන අපූරු බැඳීම .. ජෙහාන්ගෙ වචන වලින් කියනවනම් " ඒක වෙන.....ම ආතල් එකක්.ඒ ආතල් එක ඉලෙක්ට්‍රොනික මාධ්‍යකින් ගන්න බෑ.
අනිත් දේ තමයි සමහර පොත්පත් තවම ඊ මාධ්‍යට නැගිල නෑ.කැමති උනත් නැතත් කඩදාසි ම තමයි.
ඔය කියවන එක ඕනෙ තැනක කරන්න පුලුවන් උනත් ඒකට වෙනමම තැනක් තිබුනොත් වැඩේ ලේසියි, වටපිටාවෙන් එන පලිබෝධ වලින් ඈත් වෙන තරමටම කියවන වැඩේ රසවිඳින්න පුලුවන් වෙනව.ඒ තැනම පොත්පත් වලින් වටවුන තැනකුත් උනාම වැඩේට හොද උත්තේජනයක් එනව.මේ පරිසරය කොහොමද හදාගන්නෙ.මේ වැඩේට වැඩි වියදමක් යන්නෙ නෑ.ගෙදර නිතර පාවිච්චි නොකරන කාමරයක් තියනවනම් වැඩේට මරැ, නැත්නම් සාලෙ ඈත කොනක්, පඩිපෙලක් යට ඉඩකඩ තියනවනම් එතන, වගේ ටිකක් නිස්කලංක තැනක් හොයාගන්න. එතන තියෙන කබඩ් , අල්මාරි, ලටපට ඔක්කොම අයින්කරල සුද්ද පවිත්‍ර කරගන්න.එතන ඔක්කොම අයින් කරන්න කිව්වෙ අපිට එතැන අලුත්ම විදියකට සැලසුම් කරගන්න ඕනෙ නිසා , මොකද පරන තැනටම පොත් ටික ගොඩගහන එක නෙවේ අපිට කරගන්න ඕනෙ.පොඩි තීන්ත ටින් එකක් ගෙනත් බිත්ති ටික පාට කරගන්න.පාට තෝරගද්දි ලා පාට ගන්න එපා තද ප්‍රබෝධමත් පාට තෝරගන්න.බිත්තියෙ චිත්‍රයක් වගේ දෙයක් ගහන්න හිතනවනම් ඒක බිත්තියෙ පාටට ගැලපෙන සහ තැනට උචිත නිර්මාණයක් යොදාගන්න. ඊලග පොත් ගබඩා කරන රාක්ක, කබඩ් උනත් කමක් නෑ,පොත්වල ආරක්ෂාවටත් හොඳයි.. හැබැයි පොත් රාක්කෙකින් පුස්තකාල කාමරේට හොඳ එලියක් එනවා.රාක්ක වලටත් ලොකු වියදමක් කරන්න ඕනෙ නෑ. සරල ඒත් අපූරු මෝස්තර වල පොත් රාක්ක තමුන්ටම හදාගන්න හැටි කියල දෙන වීඩියෝ යූ ටියුබ් එකේ ඕනෙ තරම් තියනව..එහෙම හදාගන්නෙ හෝ මිලදී ගන්න රාක්ක වල පාටත් බිත්තිවල පාටට ගැලපෙන්නම කරගන්න.හොඳ සැප පහසු පුටුවක්, කියවන විදුලි පහනක් එක්ක පොඩි පැති මේසයක් , කාමරේ තව ඉඩකඩ තියනවනම් පොඩි ගේ ඇතුලෙ තියාගන්න පුලුවන් මල්පැලයක් තියාගත්තම වැඩේ සම්පූර්නයි. ඕනෙනම් ඔය ලඟින්ම පොඩි කැසට්, සීඩී ප්ලේයර් එකකුත් තියාගත්තට කමක් නෑ. පොත්පත් වගේම හොඳ ගීතත් ඔතනම නිදහසේ රස විදින්න පුලුවන්.
ආ.. තව දෙයක් අර පැතිමේසෙ සටහන් පොතක් , පැන්සලක් තියල තියන්න, ඔය පොතක් පතක් කියවද්දි, ගීතයක් රසවිඳිද්දි හිතට එනදේවල් ලියන්න පුරුදුවෙන්න.ඒකෙ වටිනාකම කාලයක් ගියාම , ඔය සටහන් පොත පෙරලල බලද්දි තේරේවි.
දැන් අපේ පුස්තකාල වැඩේ ඉතුරුවෙලා තියෙන්නෙ පොත් රාක්කවලට අසුරන වැඩේ. ඊට කලින් ඔයාගෙ පොත් පත් හොඳට බලන්න අබලන් වෙලා නම් ඒ පොත් අලුත්වැඩියා කරන්න, කාවො එහෙම ඉන්නවනම් ඒව අයින් කරන්න.මොකද ඒකෙන් අනිත් පොත්වලටත් හානි වෙන නිසා.පොත් පත් විෂය අනුව රාක්ක ගත් කරන එක තමා නියම ක්‍රමය.අදාල විෂය තියන පොත් උස සහ බඳ ප්‍රමාණය අනුව පිළිවෙලට අඩුක්කරගන්න, විෂයන් දෙකක් අතර පොඩි ඉඩක් තියන්න, එත්කොට ලස්සනයි.අදාල විෂයට ලේබල් එකක් ගහන්න, විෂයන් අතරෙත් ඒ විෂයෙ එක කොටසකට අදාල පොත් ටිකක් වැඩි පුර තියනවනම් ඒ පොත් ටිකක් වෙනම තියන්න, උදාහරනයක් විදියට නවකතා කොටසෙ ෂර්ලොක් හෝම්ස් පොත් කට්ටලය ටිකක් වෙන්කරල තියන්න පුලුවන්.ලී වලින් හදපු රාක්ක ආදාරක තියනව ඔය වැඩේට. තමන්ටම හදාගන්න උනත් පුලුවන්.රාක්ක වල පහලම කොටසෙ සඟරා ,පත්තර වගේ දේවල් තියන්න පුලුවන්. සීඩී, කැසට් , රෙකෝඩ්ස්වගේ දේවල් තියනවනම් රාක්කෙ කොටසක් ඒවටත් වෙන්කරන්න.
ඔන්න දැන් අපේ ගෙදර පුස්තකාල කාමරේ ලෑස්තියි. කාමරෙයි පොතුයි තිබ්බට මදිනෙ කියවන්නත් ඕනෙ, ඒකට පහසු වෙලාවක් හදාගන්න, අඩුම ගානෙ දවසට පැය බාගයක්, තමුන් විතරක් නෙවෙයි ගෙදර අනිත් අයත් මේ වැඩේට එකතු කරගන්න, කියවන්න වෙනම තැනකුයි,හිත ඇදෙන පරිසරයකුයි තියන නිසා මේ වැඩේ අමාරැවෙන්නෙ නෑ.ගෙදර අය එක්ක මේ දවස්වල තමුන් කියවන පොත් ගැන පොඩ්ඩක් කතා කරන්න.ඒකෙන් කට්ටිය තව උනන්දුවෙයි.
තව වැදගත් දෙයක් තියනව වෙනම සටහන් පොතක හරි ෆෝන් එකේ, කොම්පියුටර් එකේ හරි ඔයාගෙ පුස්තකාලෙ තියන පොත් වල ලිස්ට් එකක් හදාගෙන තියාගන්න. ඒක අලුතින් පොත් ගන්නකොට, මොනාගැන හරි කරුණු හොයනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙනව.මාසෙකට එක පොතක් හරි අරන් පුස්තකාලෙට එකතු කරන්න. පොත් ප්‍රදර්ශනය , බාගෙන් ස්ටෝල්, ඔන් ලයින් පොත් කඩ පොත් අඩුවට ගන්න පුලුවන් තැන්. මම පොත් ගන්න හැටි ගැන වෙනමම ලිපියක් දාන්නම්.ඒ ගැනත් ටිකක් වැඩිපුර කතාකරන්න ඕනෙ.
ඉතින් මේ වැඩේ කරල බලන්න, කාලයක් යද්දි, පොත් පත් ටිකටික එකතුවෙද්දි, කියවන ප්‍රමාණය වැඩිවෙද්දි ජීවිතේම අලුත් විදියකට වෙනස් වෙන හැටි ඔයාලටම තේරුම් යාවි.හෙට නෙවේ මේ වැඩේ අදම පටන්ගන්න.

තුෂාර ආසිරි 

2 comments:

  1. පොත් කබඩ්ම 6ක්... ඒ හැම එකක්ම මම පොඩි කාලෙ ඉදන් මගෙම මුදලින් ගත්තුවා... පොකට් මනී දුන්නම ඒවයින් ඉතුරු කරල ගත්තා... ජොබ් එකට යනකොට පඩියෙන් වැඩිමනක් ඒවට තමා... ඒත් ඒ දවස්වල ඉදන් කියවන්න හුරු වුනේ පුස්තකාලවල් වල... දැනටත් එහෙමයි... අර පොත් කබඩ් තියන්න වෙනම කාමරයක් තිබුනත් එතන කියවන්නෙ නෑ... දැන් ටික ටික ඊ බුක් වලටත් හුරු වේගෙන යන්නෙ යන යන හැම තැනම පොත් උස්සන් යන්න බැරි නිසා...

    [බුකියෙ පෝස්ට් එකක් දැකලා ආවෙ... followers ගැජට් එක දාගන්න]

    ReplyDelete
  2. ස්තුතියි මිතිල,බ්ලොග් එකේ පලවැනි කොමෙන්ට් එක.බොහොම සතුටුයි.. ඔව් පේජ් එකේ තාක්ශනික ගැටලු ටිකක් තියනව.ඉක්මනටම ඒක දාගන්නම්.

    ReplyDelete